Team Sri Lanka

ජපානයේ අයිචි නගෝයා නගරයේ විසිවන ආසියානු ක්‍රීඩා උලෙළ ඉරිදා (04) සවස අභිමානවත් වූ සමාප්ත උත්සවයකින් නිමාවට පත් වූයේ එහි සමස්ත පදක්කම් සටහනෙහි දකුණු ආසියානු රටවල් අතුරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්වෙමිනි.
සමස්ත තරගාවලියේ වැඩිපුරම රන් පදක්කම් දිනා ගත්තේ චීනයයි. චීනය රන් පදක්කම් 169ක් රිදී පදක්කම් 89ක් ලෝකඩ පදක්කම් 83ක් දිනා රැස්කර සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 341කි.
ජපානය රන් පදක්කම් 83ක් රිදී පදක්කම් 95ක් ලෝකඩ පදක්කම් 91ක් සමග සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 269ක් ලබා දෙවන ස්ථානයටත් දකුණු කොරියාව රන් පදක්කම් 39ක් රිදී පදක්කම් 43ක් ලෝකඩ පදක්කම් 68ක් සමග සම්පූර්ණ පදක්කම් 150ක් ලබා තෙවන ස්ථානයටත් පත්විය.
විසිවන ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම් සටහනෙහි සිව්වන ස්ථානයේ පසුවන්නේ අසල්වැසි ඉන්දියාවය. ඉන්දියාව රන් පදක්කම් 21ක් රිදී පදක්කම් 27ක් ලෝකඩ පදක්කම් 37ක් සමග දිනා සිටි සම්පූර්ණ පදක්කම් සංඛ්‍යාව 85කි.
දකුණු ආසියානු රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාවයි. රන් පදක්කමක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනු ශ්‍රී ලංකාව සමස්ත ක්‍රීඩා උලෙළේ 28 වන ස්ථානයට පත්ව සිටී. විසිනව වන ස්ථානයේ පසුවන්නේ පාකිස්තානයයි. ඔවුන් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් අටක් දිනා ගැනීමට සමත්විය.
සාෆ් (දකුණු ආසියානු) රටවල් අතුරින් නේපාලය (36 වන ස්ථානය) ලෝකඩ පදක්කම් දෙකක් ද බංග්ලාදේශය (37 වන ස්ථානය) ලෝකඩ පදක්කම්ක් ද දිනා ගත් අතර මේ තරගාවලියට ඉදිරිපත් වූ භූතානය සහ මාලදිවයිනට එකම පදක්කමක් හෝ දිනා ගැනීමට අවස්ථාව උදා නොවීය.
ශ්‍රී ලංකාවට සමස්ත තරගාවලියේ 28 වන ස්ථානයට පත්වීමට බෙහෙවින් ඉවහල් වූයේ හෙල්ල විසිකිරීමේ ලෝක සූර රුමේෂ් තරංග පතිරගේ මීටර 88.55ක් දුරකට හෙල්ල විසිකර රන් පදක්කමක් හිමි කර ගැනීම මතය.
රුමේෂ්ට මේ ඉසව්වෙන් ආසියානු වාර්තාවක් පිහිටුවීමට තිබූ අවස්ථාව මගහැරී ගියේ එදින පැවැති ශීත සුළං සහ වර්ෂාවත්ය. තරගයෙන් පසුව රුමේෂ් ප්‍රකාශ කළේ වර්ෂාවෙන් තරග බිමට එළා තිබු කාපට් ආවරණය ලිස්සන සුළු ස්වභාවයක් දැරූ අතරම වර්ෂාවෙන් තමාට හෙල්ල විසි කිරීමේ දී එය තදින් අල්ලා ගැනීමටත් (Grip) නොහැකි වූයේ ජලයෙන් හෙල්ල ලෙස්සා යන සුළු ස්වභාවයක් ගත් හෙයින් බවය.
මේ අතර ජපානයේ අයිචි නගෝයා විසිවන ආසියානු ක්‍රීඩා උලෙළ ඉරිදා රාත්‍රී නිමා වූයේ ගාම්භීරවත් වූත් විචිත්‍රාංග රාශියකින් සමන්විත වූත් සමාප්ත උලෙළකට පසුවය. අයිචි නගෝයා ප්‍රදේශය ලේසර් කිරණ මගින් විවිධ රටාවන් මැවීම පිළිබඳව ජපානයේ මහත් ප්‍රසිද්ධියක් උසුලයි. එම ප්‍රදේශයේ තරුණ තරුණියන් එය මොනවට ප්‍රදර්ශනය කිරීමෙන් සමාප්ත උලෙළම අලංකෘත විණි.
ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 153කි. මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය පුරාම ඉතිහාස ගත වන ලෙස දස්කම් පා ඇති ශ්‍රී ලංකාවට මෙවර එම ඉසව්වකින් හෝ පදක්කමක් දිනා ගැනීමට අවස්ථාව නොලැබීම මෙවර පදක්කම් ප්‍රමාණ අඩුවීමට ප්‍රධාන හේතුව බව පැහැදිලිය.
සමාප්ත උලෙළට සහභාගි වූ ශ්‍රී ලංකා ආචාර පෙළපාලියේ ජාතික ධජය රැගෙන ගියේ මල්ලව පොර සූරිය නෙත්මි අහිංසාය. ඇයට මල්ලව පොර කාන්තා කිලෝග්‍රෑම් 57ට අඩු බර පංතියේ ලෝකඩ පදක්කම අහිමිව ගියේ යන්තමිනි. එහෙත් මල්ලව පොර තරගාවලිය පුරාම නෙත්මි අහිංසා දැක්වූ දක්ෂතා විශිෂ්ටය. ඇයට ලෝකඩ පදක්කම අහිමි වූයේ තාක්ෂණ හේතු මතය.
සමාප්ත උලෙළේ ආචාර පෙළපාලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියල්ලගේම අත්වල ශ්‍රී ලංකා ජාතික ධජයන් දක්නට ලැබුණු අතර ඔවුන් එය ළෙලදවමින් එයින් සමාප්ත උලෙළේ අති විශාල ජනකායට ආචාර කළහ.
2026 අයිචි නගෝයා විසිවන ආසියානු ක්‍රීඩා උළෙලට විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහ නිලධාරී රැසක් සහභාගි කරවීමට සහ ඉන් විපුල ප්‍රයෝජන ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයත් ජාතික ඔලිම්පික් කමිටුවත් ගත් අප්‍රහත ප්‍රයත්නය ශ්‍රී ලංකාව සාෆ් රටවල් අතුරින් දෙවැනි ස්ථානයට පත්වීමෙන් සාර්ථක වූ බැව් පැහැදිලිව පෙනිණි. සමාප්ත උලෙළ කාගේත් නෙත්සිත් ඇදගත්තේ දිගු වේලාවක් පැවැති මනරම් මල්වෙඩි සංදර්ශනයෙනි.
බන්දුල මොල්ලිගොඩ
The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.
"Sri Lanka Olympic House",
100/9F, Independence Avenue,
Colombo-07
info@olympic.lk
+94-11-268-4420
+94-11-268-4429
NOC Sri Lanka © 2026. All rights reserved.
Powered by IDM Nations Campus.