Team Sri Lanka

 

 

ශ්‍රී ලංකාව ඉදිරියේ දී මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් රැසක්ම දිනා ගනීවි - ප්‍රවීණ ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන කියයි


ශ්‍රී ලංකාව ඉදිරියේ දී මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් රැසක්ම දිනා ගනීවි - ප්‍රවීණ ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන කියයි

Updated Date: 15th October, 2026

දශක හතක කාලයකට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති ආසියානු ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකාව මේ දක්වා දිනා සිටින රන් පදක්කම් 13න් 12ක් ම හිමිකර ගෙන ඇත්තේ මලල ක්‍රීඩාවෙන් වන හෙයින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමෙන් වර්ධනය කර ගැනීමට ජගත් මට්ටමේ ධාවන පථ (Tracks) තුනක් සහ තාක්ෂණික සහාය වැඩිකර ගැනීමට අධි පරිසාධක කේන්ද්‍රස්ථානයක් පිහිටු වීමෙන් (High Performance Center) වැඩි කල් නොගොස්ම රන් පදක්කම් රැසක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකර සිටින ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන ප්‍රකාශ කරයි.

ආසියානු ක්‍රීඩා තරගාවලියන් හි ශ්‍රී ලංකාව දිනා ඇති රන් පදක්කම් 12න් තුනක්ම දමයන්ති දර්ශා කාන්තා මීටර 200 සහ 400 ඉසව්වන්ගෙන් දිනා ඇති අතර ඇය 1998 තායිලන්තයේ පිහිට වූ මීටර 200 කාන්තා දුර දිවීමේ වාර්තාව මේ දක්වාම නොබිඳී පවතී. ඇයගේ පුහුණුකරු වූයේ ද සුනිල් ගුණවර්ධනය. ඔහු තවත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම බිහි කරන සිටී. රොහාන් ප්‍රදීප් ද ඒ අතර වේ. සුනිල් ගුණවර්ධන 1974 ටෙහෙරාන් ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි 4 X 400 සහාය දිවීම රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකි.

මලල ක්‍රීඩාවට අමතරව ආසියානු ක්‍රීඩා උලෙළක ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනු අනෙක් ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි. මලයාසියාවේ පැවැති ආසියානු ක්‍රීඩා උලෙළට ප්‍රථමවරට ක්‍රිකට් හඳුන්වා දුන් අවස්ථාවේ එහි සූරයන් වී රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකාවයි.

2026 ජපානයේ විසිවන ආසියානු ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් තුනක් දිනාගැනීමට පැහැදිලිවම අවස්ථාවක් තිබු බව සුනිල් ගුණවර්ධන පවසයි. රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ දී දිනාගත් රන් පදක්කමට අමතරව කාන්තා මීටර 800 දුර දිවීමේ තරගයේ දී තරුෂි දිල්සරා කරුණාරත්න සහ පිරිමි මීටර 4 X 400 සහාය දිවීමේ තරගයෙන් අපට පහසුවෙන් රන් පදක්කම් දිනා ගත හැකිව තිබු බව ද සුනිල් ගුණවර්ධන කියයි.

එහෙත් ඊට සූදානම් වීම ක්ෂණිකව නොව මීට වසර හතරකට පෙර 2022 19 වන ආසියානු ක්‍රීඩා උලෙළ නිම වූ විගස ආරම්භ කිරීමට තිබු බැව් ඔහු පවසයි.

තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව 2022 දී මිනිත්තු 2යි තත්පර 00.66ක දී පසුගිය ආසියානු ක්‍රීඩා උලෙළේ නිම කර රන් පදක්කම දිනා සිටි අතර පිරිමි 4 X 400 සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්ව මිනිත්තු 3.02කින් සහ මිනිත්තු තුනකට වඩා අඩුවෙන් නිම කරන තත්ත්වයක පසු වන බව ද සුනිල් ගුණවර්ධන පවසයි.

දැනට හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දී පිට පිටම රන් පදක්කම් දිනා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දෙන රුමේෂ් තරංග පතිරගේ තවමත් 23 හැවිරිදි වියෙහි පසුවන හෙයින් ඔහුට ඉදිරි ඔලිම්පික් උලෙළ තුනක දී ම මේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට අවස්ථාව ඇතැයි ද සුනිල් ගුණවර්ධන කියයි. ඊට හේතුව මේ ඉසව්වට සහභාගි වන ක්‍රීඩකයනට අවුරුදු 32 -34 තෙක්ම උපරිම දක්ෂතා පෙන්වීමට ඇති හැකියාව බව ද ඔහු පෙන්වා දෙයි.

මේ ක්‍රීඩකයා ආරක්ෂා කර ගැනීම ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික ඔලිම්පික් කමිටුව සහ මලල ක්‍රීඩා සංගමය සතු යුතුකමක් ද බව ඔහු පවසයි.

අතීතයේ දී මෙන්ම අනාගතයේ පැවැත්වෙන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළවල දී රන් පදක්කම් දිනීමට අප දැන් සිට ම සූදානම් විය යුතුයි. ඒ සඳහා දියගම පවතින මලල ක්‍රීඩා ධාවන පථ දෙකත් කොළඹ සුගතදාස පිටියේ ධාවන පථයත් මොන්ඩෝ වැනි ජාත්‍යන්තර මට්ටමේ පථ යොදවා සකස් කිරීම වැදගත්ය. ඉන් එක් ධාවන පථයක් වේගවත් ලෙස (Fast Track) සැකසීම අනිවාර්යය විය යුතු වේ.

21 හැවිරිදි තරුෂි කරුණාරත්නටත් 4 X 400 සහාය දිවීමේ තරුණ පිරිමි කණ්ඩායමටත් තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටත් රන් පදක්කම් දිනා ගැනීමට ප්‍රමාණවත් කාලයක් පවතී.

සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා සහ සුගත් තිලකරත්න වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවුරුදු 25 – 28 කාලය වන විටත් උපරිම දක්ෂතා පෙන්වා ඇති හෙයින් වයස මීට බාධාවක් නොවේ. දැන් සිට ම සූදානම් වුවහොත් 2030 – 2032 කාලය තෙක්ම රන් පදක්කම් දිනීමේ අවස්ථාව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ පවතී.

යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට දැනට ගෙවන මාසික දීමනාවන් ලබාදීම පිළිබඳව පැසසිය යුතු වේ. එලෙසම ඉදිරියේ අධි පරිසාධක කේන්ද්‍රස්ථානය (High Performance Center) සහ ජාත්‍යන්තර මට්ටමේ ධාවන පථ සැපයීමේ කාර්යයන්ට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති අසංග සෙනෙවිරත්න ප්‍රමුඛ නිලධාරීන්ගේත් මලල ක්‍රීඩා සංගමයේත් සහයෝගය වැදගත් වනු ඇතැයි ද සුනිල් ගුණවර්ධන ප්‍රකාශ කරයි.

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ජාත්‍යන්තර තරගයකට යවනවාට වඩා එම පිරිසෙන් අඩක් එහි යවා සටන්කාමී ලෙස තරග කර පළපුරුද්ද හෝ ලබාගත හැකි වන්නේ නම් වඩා වැදගත් බව ද මේ ප්‍රවීණ පුහුණුකරු පවසයි.

ආසියානු ක්‍රීඩා උලෙළයන්හි දී ශ්‍රී ලංකාව දිනා ඇති රන් පදක්කම් පහත දැක්වේ.
• නාගලිංගම් එදිරිවීරසිංහම් - උස පැනීම - 1968 ටෝකියෝ
• එස්.එල්.බී. රෝසා - මීටර 5,000 මීටර 10,000 - 1970 බැංකොක් තායිලන්තය
• ඩබ්ලිව්. විමලදාස - සුනිල් ගුණවර්ධන, කෝසල සහබන්ධු සහ ඒ. ප්‍රේමචන්ද්‍ර 4 X 400 පිරිමි සහාය දිවීම - 1974 ටෙහරානයේ දී
• ඩබ්ලිව්. විමලදාස මීටර 400 දිවීම - 1974 ටෙහරානය
• දමයන්ති දර්ශා - මීටර 200 සහ මීටර 400 – 1998 තායිලන්තය
• සුගත් තිලකරත්න - මීටර 400 – 1998 තායිලන්තය
• දමයන්ති දර්ශා - මීටර 400 – 2002 බූසාන් දකුණු කොරියාව
• සුසන්තිකා ජයසිංහ - මීටර 100 – 2002 බූසාන් දකුණු කොරියාව
• තරුෂි කරුණාරත්න - මීටර 800 – 2022 චීනය
• රුමේෂ් තරංග පතිරගේ - හෙල්ල විසි කිරීම - 2026 අයිචි නගෝයා ජපානය

බන්දුල මොල්ලිගොඩ


Our Partners
MAS Lovi Cinnamon Carnage Akbar IDM

The Olympic Partners


About us

The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.


Get In Touch

"Sri Lanka Olympic House",
    100/9F, Independence Avenue,
    Colombo-07

info@olympic.lk

+94-11-268-4420

+94-11-268-4429

NOC Sri Lanka © 2026. All rights reserved.

Powered by IDM Nations Campus.