Team Sri Lanka

ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායම ජපානයේ විසිවන ආසියානු ක්‍රීඩා උලෙළේ රගර් තරගාවලියට සහභාගි වූයේ අනිවාර්යෙන්ම පදක්කමක් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව යැයි පවසන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆසිල් මරිජා එය අපට අහිමි වූයේ අර්ධ අවසාන පූර්ව වටයේ සිදු වූ සුළු වැරැදි දෙකක් මත යැයි ද පවසයි.
චීනය සමග පැවැති අර්ධ අවසාන පූර්ව තරගයේ ප්‍රථම භාගයේ දී අපගේ ආරක්ෂක (Defense) ක්‍රීඩකයන් වෙතින් සිදු වූ සුළු වැරැදි දෙකක් මත චීනය ට්‍රයි දෙකක් තබා ලකුණු රැස් කරමින් ඔවුනට ඉදිරියට යාමට අවස්ථාව උදා කරගත් බව පවසන ප්‍රධාන පුහුණුුකරු මරිජා තරගය පරාජයවීමට ප්‍රධාන හේතුව එය වූ බව ද කියයි.
පසුව අප සටන් කර ලකුණු 19 -12ක් ලෙස පරාජය වුව ද අපට ජය ගැනීමට තිබු හොඳම අවස්ථාවක් අහිමි වූ බව පවසන මරිජා මුල සිට අපගේ අපේක්ෂාව වී තිබුණේ චීනය පරාජය කර පසුව ජපානය සමග තරගයක් ජයගෙන පදක්කමක් හිමි කර ගැනීම බව ද පවසයි.
මෙම සත් සාමාජික රගර් තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව පහසුවෙන්ම තරග තුනම ජය ගත්තේ ලකුණු 33 -17කින් සිංගප්පූරුවත් ලකුණු 22 - 14කින් පිලිපීනයත් ලකුණු 17 - 05කින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් පරාජය කරමිනි.
චීනය සමග ලකුණු 12 - 19කින් පරාජයවීමෙන් පසුව අප ඊටත් වඩා මුහුණ දුන් දුෂ්කරම කටයුත්ත වූයේ ක්‍රීඩකයන් මඳක් මානසිකව පසුබා සිටි හෙයින් පිලිපීනය වෙතින් හය හා හත ස්ථාන සඳහා පැවැති තරගයෙන් ද ලකුණු 12 -33කින් පරාජයට පත්වීමය. කෙසේ වුව ද අට සහ නවය ස්ථාන සඳහා පැවැති තරගයේ දී අප එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 40 - 05කින් පරාජය කළේය.
ජාතික ඔලිම්පික් කමිටුවේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවක දී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රධාන පුහුණුකරු ෆසිල් මරිජා මෙවැනි එක සමාන දක්ෂතා ඇති කණ්ඩායම් සහභාගි වන තරගාවලියන්හි දී අපට කොහෙත්ම වැරැදි සිදු කිරීමට බැහැ. වැරැද්දක් දෙකක් සිදු කළහොත් එහි වාසිය යන්නේ ප්‍රතිවාදී කණ්ඩායමටයි. අනෙක අපි චීනය සමග තරගයට ඉදිරිපත් කළේ අපගේ හොඳම කණ්ඩායමයි. මම මෙය දකින්නේ ජය ගැනීමට අපට තිබූ හොඳම අවස්ථාවක් ගිළිහී ගිය ලෙසටයි.
අවසාන පූර්ව තරගයේ දී චීනය විසින් ජපානය පරාජය කළත් අවසාන තරගයේ දී හොංකොං ලකුණු 26 - 0කින් චීනය පැරැදවූවා. හොංකොං කණ්ඩායමට සමන්විතව වී සිටින්නේ සුදු ජාතික විදේශ ක්‍රීඩකයන්ගෙනුයි.
අපගේ මීළඟ අපේක්ෂාව මේ මස 17 සහ 18 දිනවල කොළඹ තුරග තරග පිටියේ පැවැත්වෙන ආසියාතික සත් සාමාජික රගර් තරගාවලියේ දී පැරැණි වැරැදි සාදාගෙන හොඳින්ම දස්කම් දැක්වීම බව ෆසිල් මරිජා ප්‍රකාශ කරයි.
ජපාන සංචාරයට සහභාගි වූ සත් සාමාජික ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු බුද්ධික ජනකාන්ත සංචාරයෙන් පසුව ප්‍රකාශ කළේ ආසියානු තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායම සමස්තයක් ලෙස උපරිම දක්ෂතා දක්වා අත්දැකීම් සහ පළපුරුද්ද ලබා ගැනීම වැදගත් වන බවය.
මේ තරගාවලියට සහභාගි වූ චීනයේ ජාතික කණ්ඩායම මැයි මස සිට චීනයේ වෙනම දුපතක පෝෂ්‍ය ආහාර, විටමින් ගනිමින් මාස හතරක කාලයක් පුහුණුව ලබා ඇති බවත් ඔවුනගේ මීළඟ අරමුණ 2028 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම බවත් පවසයි.
බන්දුල මොල්ලිගොඩ
The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.
"Sri Lanka Olympic House",
100/9F, Independence Avenue,
Colombo-07
info@olympic.lk
+94-11-268-4420
+94-11-268-4429
NOC Sri Lanka © 2026. All rights reserved.
Powered by IDM Nations Campus.