Team Sri Lanka

 

 

ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් රන් පදක්කම් අපේක්ෂාවක් ළහිරු අචින්ත මීටර 1500 රිදී පදක්කම දිනා ගනී


ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් රන් පදක්කම් අපේක්ෂාවක් ළහිරු අචින්ත මීටර 1500 රිදී පදක්කම දිනා ගනී

Updated Date: 10th November, 2026

නුදුරු අනාගතයේ දී ම ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් පදක්කමක් හිමි වන ගෞරවාන්විත සුබ ඉඟියක් සඳුදා (09) රාත්‍රියේ පහළ වූයේ සෙනෙගල් හි ඩකාර් නගරයේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උලෙළේ මීටර 1500 තරගයේ දී ශ්‍රී ලංකාවේ 17 හැවිරිදි ළහිරු අචින්ත දෙවැනි ස්ථානය දිනා රිදී පදක්කමක් හිමිකර ගැනීමෙනි.

ළහිරු අචින්ත මේ තරගය මිනිත්තු 3 තත්පර 59.08ක දී නිම කළේ සෙල්සියස් අංශක 27ක වැනි දැඩි උෂ්ණ දේශගුණයක් පැවැති අවස්ථාවක දී ය. මෙය ළහිරු මීට පෙර පෙන්වා ඇති ඔහුගේ හොඳම කාලයට වඩා තත්පර 6.03ක අඩුවීමකි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ දේශගුණික තත්ත්වයයි.

මේ තරගයේ ප්‍රථම ස්ථානය ඉතියෝපියාවේ සෙබ්ලිගා වාබි ද (මිනිත්තු 3යි තත්පර 58.73) දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ළහිරු අචින්ත ද (මිනිත්තු 3යි තත්පර 59.08) තෙවන ස්ථානය ස්පාඤ්ඤයේ සන්ගිල් ඇලෙක්ස් ද (මිනිත්තු 3 තත්පර 59.70) හිමි කර ගත්තේ තියුණුම තරගයකින් පසුවය.

තරගය ආරම්භ වීමත් සමග ඉදිරියෙන්ම තරග වැදුණු ළහිරු අචින්ත ප්‍රථම මීටර 400 නිම වන විට මිනිත්තුවයි තත්පර 6.90ක් ගතකර ඉදිරියෙන්ම තරග වැදිණි. පෘතුගාලයේ සැමුවල් රොඩ්රිගෝස් මීටර 800 නිම වන විට මිනිත්තු 2 තත්පර 18.59ක් ගත කරමින් ද ස්පාඤ්ඤයේ සැන්ගිල් ඇලෙක්ස් මීටර 1200 වන විට මිනිත්තු 3 තත්පර 18.41 ගත කරමින් ද ඉදිරියෙන්ම තරග වැදිණි. මීටර 800 සහ මීටර 1200 වන විට ළහිරු අචින්ත ඉදිරියෙන් ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා සමග කරට කර තරග කළේය.

අවසාන මීටර 300 දී ළහිරු අචින්ත සෙසු ක්‍රීඩකයන් සමග තියුණුම සටනක නිරතව අවසාන මීටර කිහිපයේ දී ඉතියෝපියාවේ වාබි ට පමණක් දෙවැනි ස්ථානයට පත්විය.
මීටර 1500 අවසාන තරගයට තරග වැදුණේ ලොව යොවුන් වේගවත්ම ක්‍රීඩකයන් එකොළොස් දෙනාය.

යොවුන් ඔලිම්පික් උලෙළක දී මීට පෙර ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි වූයේ 2018 වසරේ දී කාන්තා මීටර 3000 බාධක දිවීමේ තරගයේ දී (Steeplechase) පාරමී ගුණවර්ධන ලෝකඩ පදක්කම දිනා ගැනීමෙනි.

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කරීමේ සූරයා වන රුමේෂ් තරංග සමග මීටර 1500 මැදි දුර දිවීමේ සූර ළහිරු අචින්ත අනාගත ඔලිම්පික් ක්‍රීඩා උලෙළ කිහිපයක දී ම ශ්‍රී ලංකාවට රන් පදක්කම් දිනා ගෞරවය ගෙන එනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රවීණයන්ගේ අපේක්ෂාවයි.

2009 අප්‍රේල් 13 වැනිදා රත්නපුරයේ දී උපත ලද ළහිරු අචින්ත අධ්‍යාපනය හැදෑරුවේ රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලෙනි. මොහුගේ පුහුණුකරු තමල් යුද හමුදාවට අනුයුක්ත නිලධාරියෙකි.

මෙවර සිව් වැනි යොවුන් ඔලිම්පික් උලෙළේ මීටර 1500 තරගයේ රන් පදක්කම ළහිරු අචින්තට අහිමි වූයේ තත්පරයකින් 0.35ක පමණක වෙනසකිනි. ඩකාර් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යාමට පෙර ළහිරු ප්‍රකාශ කළේ යොවුන් ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීම තම පරමාර්ථය බවය.

ළහිරු අචින්ත මීටර 1500 තරගය නිම කර ඇති හොඳම කාලය මිනිත්තු 3.53.05කි.

2025 වසරේ බහරේන් හි පැවැති යොවුන් ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර 1500 තරගය මිනිත්තු 3.57.42ක දී නිම කළ ළහිරු එවර රන් පදක්කම දිනා ගැනීමට ද සමත් විය. මෙරට සමස්ත ලංකා පාසල් ක්‍රීඩකයෙකු ලෙස ඔහු තරගය නිම කළේ මිනිත්තු 3.55.97ක දී ය.

ලොව දක්ෂතම යොවුන් ක්‍රීඩකයන් තරග වැදුණු මෙම ඩකාර් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ දක්ෂතා දැක්වු යොවුන් මලල ක්‍රීඩකයන් අනාගතයේ ලොව ඔලිම්පික් රන් පදක්කම්ලාභීන් වනු නියත බව මලල ක්‍රීඩා ප්‍රවීණයන්ගේ අවිවාදාත්මක වූ මතයයි.

බන්දුල මොල්ලිගොඩ


Our Partners
MAS Lovi Cinnamon Carnage Akbar IDM

The Olympic Partners


About us

The National Olympic Committee of Sri Lanka (NOC SL) was inaugurated on 8th April 1937 at a meeting of representatives of Athletic, Swimming and Boxing Associations. As resolved on this day, the first meeting of the Ceylon Olympic and Empire Games Association was held on 30th April 1937.


Get In Touch

"Sri Lanka Olympic House",
    100/9F, Independence Avenue,
    Colombo-07

info@olympic.lk

+94-11-268-4420

+94-11-268-4429

NOC Sri Lanka © 2026. All rights reserved.

Powered by IDM Nations Campus.